Monday, November 9, 2015

තුවාලයේ වේදනාව


බේත් දැමුවාට පසු, ඊට පසු නැවත බේත් දමන්නට තාත්තාට මතක තිබුනේ ද, මා මතක් කළේ ද නැත. ඒ තාත්තා උදේ වරුවේ සරණේ උගන්නවන අතර, අපි සවස් වරුවේ ඉස්කෝලෙ යන නිසා ය. බේත් දැමූ තැනට උඩින් බැඳ තිබූ රෙදි කඩ ද පසා කරගෙන තද පැහැ සැරව පැල්ලමක් මතු වන්නට පටන් ගත්තේ ඊටත් පසු දා ය...

මැස්සන්ගෙන් තුවාලයට වන කරදරය අති මහත් ය. උන් එළවා අවසන් කරන්නට ද බැරි එන්නේ මැසි හමුදා බැවිනි. ගෙමැස්සන්ට වඩා ටිකක් ලොකු, තද නිල් පැහැ මැස්සා නිල මැස්සා ය. උගේ හඬ  කන පාරවාගෙන යන තරම් තද ය. උච්ඡ ය.. පියාඹා යන විට සුළං පහර ද අපට දැනෙන තරම් ය. එමෙන් ම ඌ සුළඟටත් වඩා වේගවත් ය. වේගයෙන් පැමිණෙන නිල මැස්සා කකුළ මත වසා ඔලුව ගස්සමින් තුවාළය මත සක්මන් කරයි. එය ද හරි කඩිසරව ය. සියුම් සෙලැවීමක දී පවා ඌ වහා පිටතට ඉගිල ගොස් යළි පැමිණෙයි. හිස පහළින් හොටක් වැනි දෙයක් දිගු කරමින්, ඉන් පොඩි කෙළ බෝලයක් ද මතු කරමින් උන් කරන රාජකාරිය කුමක්දැයි අප දන්නේ නැත. මඳ වේලාවක් මෙසේ මැස්සා හක්කළං කරනා විට දැනෙන සියුම් කිචිය විඳින්නට ද ආසාවක් ඇති වෙයි. එවිට තුවාලයේ වේදනාව ද මඳ මොහොතකට අමතක වන නිසා ය... මැස්සන් ඉගිල ගිය පසු තුවාලයේ සැරව මත ඉතා සියුම් සුදු පාට කුඩු වැනි තිත් ගොඩක් දකින්නට තිබේ. ඒ මොනවාදැයි ගනිච්චියක් මට නැත.

දෙවෙනි දවස පසු වන විට සැරව ගලන ප්‍රමාණය ද වැඩි ව තිබුණේ ය. එය රෙදි කඩ පසා කරගෙන පිටතට පැමිණ කකුල දිගේ අඟලක් පමණ පහලට ගලා විත් වියළී කර කුට්ටං වී තිබුනේ දූවිලි ද සමග ය. ඒ අතින් කඩා පිස දමන්නට ද නොපෙළැඹුනේ කකුල අල්ලන්ටවත් බැරි තරමට වේදනා දෙන නිසා ය. බැරි මරගාතේ හෝ මා පාසැල් ගියෙමි. කොහොමත් වැඩි සෙල්ලමක් නැති අප විවේකයට කරන්නේ අනෙක් අය දූවිලි අවුස්සාගෙන කරන දිවිලි පැනිලි බලාගෙන සිටීම ය. එදා මා පන්තියේ බිත්ති කණ්ඩිය මත වාඩි වී සිටි අතර, මට අඩි දෙක තුනක් ඈතින් ශිරෝමි අක්කා (ලොකු තාත්තාගේ ලොකු දූ වූ ඈ මට වඩා වැඩිමල් වූයේ මාස දෙක තුනකිනි. ඈ සිටියේ ද මගේ පන්තියේම ය.) අත් දෙක දෙපසට විහිදා වැළමිටෙන් නවාගෙන, කණ්ඩියට තබාගෙන සිටියා ය.. ටික වේලාවක් මගේ තුවාළ කකුළ දෙස බලා සිටි ඇගේ ඇස් ක්‍රමයෙන් විසල් වෙනු මට පෙණුනේ ය..

ඉනික්බිති ඈ වඩා නැවී ළං ව තුවාල කකුල දෙස බැලුවා ය. එසේ බැලූ ඇය මහ හඬින් කෑ ගසමින් පස්සට පැන්නේ අත් දෙක පාත්තයකු මෙන් ගසමින්, උරිස්ස ද නටවමිනි....

“ඊඊඊඊඊඊයාාාාාා පණුවෝඕඕ....“

වැඩේ ඇත්ත ය. තුවාලය මත සුදු පාට, ඉතා කුඩා පණුවන් තිස් හතළිස් දෙනෙක් පමණ සෙමින් සෙමින ගමන් කරමින් සිටියේ ය... මම මහත්සේ අසරණ වීමි. කියන්නට ද කෙනෙක් නැත..කරන්නට ද කිසිවක් නැත..අතින් පිස දමන්නට ද බැරි ය...  වටපිට බැලූ විට ඒ ඇසෙන මානයේ කවුරුවත් සිටියේ නැත්තේ මගේ වාසනාවට ය... එනිසා ම ඉස්කෝලේ ඇරෙන තෙක් ම ශිරෝමි අක්කාගේ ඇස් මාණයට අසු නොවන සේ හිමිජ්ජා මෙන් සිටියෙමි. ඒ ඈ යළි කෑ ගැසුවොත් වස ලැජ්ජා නිසා ය..

ඉස්කෝල ඇරෙන්නේ පසුවරු 4 හමාරට ය... අප ඉස්කෝලේ ඇරී ගෙදර එන විට උදේ වරුවේ මහ විද්‍යාලයට ගිය වසන්ත අයියා සහ තව දෙතුන් දෙනෙක් කණිෂ්ටේ පසු කරමින් වැව දෙසට යන්නේ උදේ ලිහා ඇරි හරක් පට්ටිය දක්කාගෙන එන්නට ය.  ඔහු අප පසු කරමින් යන ගමන් “ආාා උපුල් කුකුල්..“ කියමින් දිව ද ඇද කරයි. වෙනදා එසේ කළ විට ඔහු පසු පස අඩි දෙක තුනක් පන්නාගෙන යනමුත් අද මට එසේ කරන්නට බැරි ය.. කකුල ඒතරමට වේදනා දෙන නිසා ය.

කට්ටිය සමගින් ගෙදර ආ සැණින් මම කකුල රිදෙන බව තාත්තාට කීවෙමි. “ඉක්මණට කරුවල වැටෙන්නට කලීයෙං ඇඟ හොදං වරෙල්ල..“ තාත්තා කී පසු අපි ඩෝමැට්‍රියට ගොස් ඇඟ පත සෝදා ගත්තෙමු. නැවත ආ පසු තාත්තා මා අල්ලාගෙන තුවාළය සුද්ද කරන මෙහෙයුම පටන් ගත්තේ ය. ඇඟ සෝදන වතුර පහර නිසා අර සිටි සියුම් පනු පැටවුන් සේදී ගොස් ඇති නිසා තාත්තා උන් දැක්කේ නැත. මහ යම යුද්දයක් වූයේ රෙදි කඩමාල්ල ගැලවීමට  වඩා තුවාලය මත තිබූ පැලැස්තරය ගැලවීම ය... තාත්තා කොතරම් හෙමින් ඇද්ද ද මම මහ හඬින් මොර ගෑවෙමි. පසුව අයියා පැමිණ මා අල්ලා ගත්තේ ය. තාත්තා පැලැස්තරයේ කොනක් අල්ලා “සරස්“ ගා ඇද්දේ ය. එසැණින් මට තරු හාර පන්දහක් එක විට පෙනෙන්නට පටන් ගත්තේ ය. ඉන් පසු ඒ තරු ද බොඳ වූයේ එතරම් ම ලොකු කඳුලු කුට්ටියක් ද පොලා පැන්න නිසා ය.. වේදනාව කොතරම් ද යත් මා තරහ පිරිමැස්සේ අයියාගෙනි.. “තෝ පලයං අහකට..“මා මහ හඬින් මුර ගෑවෙමි... අයියා මඳක් එහාට ගිය නමුත් මට ඒ මදි ය.. “ඉහ් හ් හ්හ් ඉහ්..“ ගාමින් ඉකි ගැසෙමින් සිටි මම යළිත් “හ්හ්හ් පලයංංංංං..“ කිවෙමි. තාත්තා මඳක් ඔලුව සෙලවූයේ අයියාට එහාට යන්නට කියන්නට ය..

බංකුවක් ඇද මා වාඩි කරවූ තාත්තා එදාටත් වඩා ඇස් ලොකු කර ගත්තේ තුවාලයේ ප්‍රමාණය දැක්කේ දැන් නිසා ය.. එය තඹ සල්ලියකටත් වඩා ලොකු රවුමක් ව තිබුනේ ය. තුවාලය වටේ උස් ගැටිත්තක් රවුමට සෑදි තිබුණු අතර, තුවාලයේ මස රෝස පැහැ කුට්ටි වශයෙන් පෙනුනේ ය... ඒ අවට කකුලේ තුනී මස් තට්ටුව ඉදිමී තද රෝස පැහැ වී තිබුණේ ය. “හප්පා.. ඇටේ මතුවෙනකං තුවාලෙ පෑරිලානෙ..“ තාත්තා විස්සෝප වූයේ ය... “උඹල මහ සත්තු ජාතියක් බං.. නිකංවත් කියන්න එපාද බොල තුවාලෙ ගැන..“ තාත්තා එසේ කියන්නේ තමාට ම දොස් පවරා ගන්නා විලාසයෙනි. එදා ද තුවාලය දෙතුන් වරක් පිස දැමුනේ මහා වේදනා දෙමිනි. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාත්තුවෙන් පසු යළි සෙමින් තෙත මාත්තු කර, ඒ මත පල්ලමාණික්කම් කැටය ඇතිල්ලුවේ ඉතා පර්ස්සමිනි. පළමු ව සියුම් දැවිල්ලක් සේ දැනුන දච පසුව තුවාළය පුරා සියුම් සිසිලසක් පැතිර ගියේ වේදනාව ද මඳ වේලාවකට අමතක කරවමිනි. ඒ මත යලි වේට්ටි පැලැස්තරය දමා, වේට්ටි බැන්ඩේජ් එකෙන් ඔතනු ලැබීමෙන් පසු මහා වේදනාව මඳකට සමනය විය.

එදා මම වේලාසණින් නින්දට ගියෙමි. අයියා ද පාලිත ද ඇඳේ වැඩි පංගුවක් මට වෙන් කර දුන්නේ මට සහනය සලසනු සඳහා ය. එදා සුපුරුදු පරිදි මට චූ සිහින පෙනුනේ ද නැත.. දිගු නින්දට පසු පසු දා උදේ අවදි ව, ඇඳෙන් නැගිටින්නට උත්සාහ කරන විට මට මහා අමුත්තක් දැනෙන්නට විය. පළමුව මට සිතුනේ මගේ කකුල නැති බවකි. දෙවනු ව මට නැගිටින්නට බැරි බවක් ද මහා දරදඬු බවක් ද දැනෙන්නට පටන් ගත්තේ ය. අවද් වන්නට වීරිය ගත් විට කකුලේ මහපටැඟිල්ලෙන් නැගි තියුණු , දරුණු වේදනාවක් කකුල දිගේ ම විත් උකුල් ඇටය ද පසාරු කරගෙන යන්නට පටන් ගත්තේ ය... මම වහා යළි ඇඳ මත වැතිර කෙඳිරි ගාන්නට පටන් ගතිමි. මීට පෙර ද නැගිටින්නට කම්මැලි විට ද අප කවුරුන් හෝ කෙඳිරි ගාන නිසා එය කවුරුවත් ගනං ගන්නේ නැත.. කෙඳිරිය කවුරුවත් ගනනං නොගන්නා නිසා ම මට ඉකි බිඳ හැඬුනේ ය. සීරුවට එක දිගට ඇඬෙන ඒ ඇඬිල්ල අනුව තාත්තා ද අයියා ද මට අමාරු බව පසක් කොට ගත්තෝ ය. 

“වරෙං පුතේ..“ තාත්තා අපට පුතේ කියන්නේ කලාතුරකින් ය. එසේ අමතන්නේ තත්ත්වය බොහෝ වෙනස් බව නිසා වෙන්නට පුලුවන.තාත්තා මා ඔසවා ගත් විට දකුනු කකුල නැවුන ද වම් කකුල දර ඉපලක් මෙන් නොනැවී තිබුණේ ය. එය පහළට බර වන විට දරුනු වේදනාවක් යළි ඇඟ පුරා දිව්වේ ය... තාත්තා එක සීරුවට ඉකි බිඳිමින් සිටි මා ඔසවාගෙන ගොස් බිත්ති කණ්ඩිය අසළින් සිටුවා තැබුව ද මා සිට ගත්තේ තනි කකුලෙනි. ඉන් පසු තාත්තා මගේ කළිසම බුරිය ළඟින් පාත් කර, චූ කුරුල්ලා අතින් අල්ලාගෙන මට චූ කෙරෙව්වේ ය. ඉන් පසු මා එසේ ම සිටියදී වතුර කෝප්පයක් ගෙනැවිත් කඳුලු සහ හොටු සේදුවේ ය. “දත් මැද ගන්න පුලුවන් ද..?“ එසේ අසූව ද තාත්තා ම අඟුරු කැබැල්ලක් ගෙනැවිත් මගේ කටේ එබුවේ ය. මම එය බරස් ගා හැපුවෙමි. ඉන්පසු මගේ පිටුපසින් සිටගෙන මා ඇඟට තද කරගෙන මගේ දත් මැද්දේ ය. මා කලේ තූ ගාමින් කෙළ ගැසීම ද, අතරින් පතර ඇඬීම ද පමණි. නැවත වතුර කලතක් ගෙන තාත්තා මගේ කටට ලං කරන්නේ ය. මා එයින් ලොකු ගුලියක් ගෙන කට පුරවාගෙන, කට ඇතුලේ එය “බුකු බුකු“ ගා කලතා එළියට විදින්නේ කට උල් කරගෙන ය. තවත් වතුර තලියක් අතට ගෙන තාත්තා මගේ මුහුණ ‍ෙස්දුවේ ය. අතේ ඉතිරි වතුර ටික බෙල්ල යට ඇතිල්ලුවේ ය.

යළි මා ඔසවාගෙන ගෙට ගොස් කළිසම ගැලෙව්වේ ය. වෙනදාට ඔහේ හිටගත් තැන සිට ම කලිසං ගලවන අපි, කාගේ ජුන්ඩා දැක්ක ද “හූඌ හූඌ..“ ගෑවෙමු. එහෙත් අද තනි කකුලෙන්, හෙලුකොට්ට‍ෙං සිටින මට කවුරුවත් හූ කීවේ නැත. තාත්තා මේ සැරසෙන්නේ මා රැගෙන බේත් ගෙනෙන්නට යාමට ය. උදේ වරුවේ බේත් ගන්නටනම් ඉස්පිරිතාලයට යා යුතු ය. හැන්දෑවකනම් සෝමිල් එක පාරේ කන්ද පල්ලමේ තිබෙන ඩීඇම්මෝ මහත්තයා ගාවට යා යුතු ය. මිනිස්සු ඩීඇම්මෝ කීවේ ඉස්පිරිතාලේ ලොකු දොස්සතර මහත්තයාට ය. ඔහු හවස් වරුවේ තමන්ගේ ම ඩිස්පැන්සරියක් දමාගෙන සිටියේ ය. එසේ නැතිනම් ටවුන් එකේ දක්ෂිණ ලංකා එකට මෙහා පැත්තේ සිටින දෙමළ දොස්තර මහත්තයා වෙත යා යුතු ය. 

වෙනදා ට බයිසිකළේ පොල්ල මත ඇත් කොට්ටය උඩ වාඩි වී කකුල් දෙපැත්තට දමා වාඩි විය හැකි වුව ද අද තත්ත්වය අතිශය බරපතල ය.. මට කෙසේවත් කකුල නවන්නට බැරි ය. එනිසා තාත්තා මා වත්තං කරගෙන දකුනු තට්ටමෙන් පමණක් බර දීගෙන සිටින සේ පොල්ල මත කොට්ටයේ වාඩි කෙරෙව්වේ ය. ඉන්පසු වෙනදාට වඩා සීරුවෙන් හැතැප්ම දෙකක් පමණ දුර වූ ඉස්පිරිතාලයට ම පැදගෙන ගියේ ය. ඒ යන අතරේ කාගේ දෝ අත ආච්චීට පනිවිඩයක් ද යැව්වේ ය. ඉස්පිරිතාලයේ මහ සෙනගකි. බේත් සුවඳ සමග නහය කාරගෙන යන කාබොලික් සුවඳක් ද වහනය වෙයි. තාත්තා සීරුවෙන් මා ඔසවා ගත්තේ හරහට ය. දකුණු කකුල නැමී ඇතත්, වම් කකුල ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් ය. එය නවන්නට බැරිය.. තාත්තා මා ලොකු බංකුවක් මත හාන්සි කොට මඳක් ඈතට ගියේ ඉස්පිරිතාලයේ විය යුතු රාජකාරි සපුරා ගන්නට ය. තාත්තා එහාට ගිය පසු මම කකුල නවා බැලුවෙමි. රිදුන ද උදේට වඩා පහසුවෙන් නමන්නට හැකි ය. එහෙත් මම අර අමාරුව ම පෙන්වාගෙන සිටියෙමි. නියමිත වාරය ආ පසු තාත්තා යළි මා හරහට ඔසවාගෙන දොස්තර මහත්තයාගේ කාමරය ඇතුළට ගියේ ය. එහි ඇඳ මත යළි සීරුවෙන් මා තැබුවේ ය. කාමරයේ සිටි නර්ස් නෝනා කෙනෙක් මගේ කකුල අල්ලා සීරුවෙන් ඇඳ මත එහා මෙහා කළා ය. දොස්තර මහත්තයා දෙමළ ය. පුටුවෙන් නැගිට ඇඳ ළඟට පැමැණි එතුමා කැඩුණු සිංහලෙන් තාත්තා සමග කතා කළේ ය. බොහෝ විස්තර ඇසුවේ ය. එසේ කතා කරන ගමන් මගේ බඩ, පපුව, ඉකිළි ඇඟිලිවලින් තද කෙරුවේ ය. එසේ කරන ගමන් ම හෙමි හෙමින් මගේ කකුල දණිස්සෙන් නැමුවේ ය. කට ඇරගෙන කතාව දිහා බලා සිටි මට කකුල අමතක විය...!!! “හා සින්න පුලලේ.. දැන් ෂරි ආාා...“ දොස්තර මහතා කීවේ සිනාසෙමිනි. ඉන්පසු ඔහු මා මුණින් අතට පෙරලා තට්ටමට ඉන්ජෙක්ෂන් එකක් ගැසුවේ ය. තරමක් රිදුන මුත් එය කකුලේ අැම්ම තරම් දරුණු නොවී ය. කාමරයෙන් මා පිටතට ආව් තාත්ාගේ අත අල්ලාගෙන කුන්දු ගසමිනි. එළියට ආ පසු තාත්තා මා වඩාගෙන වෙනත් කාමරයකට එක්කං ගියේ ය. ඒ තුවාලවලට බේත් දමනකාමරයයි. කාමරය පුරා ම ඩෙටෝල් සුවඳ ද, තවත් සැර සුවඳ කිහිපයක් ද කවලමේ දැනුනේ ය. එතැන දී මෙතෙක් ඔතා තිබුණු වේට්ටි බැන්ඩේජ් එක ගලවා නැවත බේත් දැමුවේ මහත නර්ස් නෝනා කෙනෙකි. 

ඊයේ තුවාලය සෝදා තිබුණු නිසා අද එය එතරම් වේදනා ගෙන දුන්නේ නැත. නමුත් නර්ස් නෝානා තුවාලය යළි හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වලින් සෝදා, පුළුන්වලින් තෙත මාත්තු කොට,  ඒ මත සුදු පාට කුඩක් ඉස්සේ ද සුදු පාට බෝතලයකිනි. ඉන්පසු ඒ මත යළි කහපාට දියර බින්දු දෙක තුනක් දැම්මේ ය. ඊටත් පසු තවත් ඔයින්මන්ට් එකක් ගෑ ගෝස් තට්ටුවක් තැබුවේ ය. ඊට පසු නියම බැන්ඩේජ් රෝලක් ගෙන, එයින් කකුල වටේ ම වෙලුවේ ය. පිටිපස්සෙන් ගැට ගසා, ගැටය මත ප්ලාස්ටර් කෑල්ලක් ද ඇලෙව්වේ ය.. ප්ලාස්ටර් රෝලෙන් කෑල්ලක් අදින විට ඉන් ඇසුණු ශබ්දය ද, කතුරෙන් එය කැපූ ශබ්දය ද මට අදත් එදා මෙන් ම ශ්‍රවණය කළ හැකි ය..

සියලු කාරණා කටයුතු අවසන් ව. තාත්තා මා අතින් අලාගෙන එළියට එක්කන් ආව් ය. මම දකුණු කකුලට පමණක් බර එන සේ පැන පැන ආවෙමි. එළියට ආ පසු තාත්ා මා වඩාගෙන පාර පැන ඉස්පිරිතාලය ඉදිරිපිට කඩයෙන් බණිසක් අරං දුන්නේ ය. බනිස උඩ තිබූ රතුපාට ජෑම් ගුලිය හරි ම රහ ය..! එක සීරුවට ඇඬූ නිසාවෙන් තවමත් මට ඉක්කා ගැසෙන ආකාරයට ගැස්සිල්ලක් තිබුණ ද බනිස කෑ පසු එය ද අමතක ව ගියේ ය..!

අපි යළි ගෙදර එන විට ආච්චී පැමිණ සිටියා ය. එදා දවල් වේල තරමක් සරු එකක් වූයේ ආච්චී ලොකු තාත්තලාගේ දිහායින් මොනවා හෝ ගෙන ආ නිසා ය. හැන්දෑවේ ලොකු අම්මා ද, ලොකු තාත්තා ද මා බලන්නට ආවේ ය. සිරිත් පරිදි ලොකු තාත්තා දත් අතරින් සද්දයක් දමමින් ද, හුහ් හුහ් ගාමින් ද තාත්තා ට බැණ බැණ සිටියේ මේ අප ජීවත්වන අපාය ගැන කියමිනි.

තාත්තා සමග අප ජීවත් වූ දිව්‍ය ලෝකය කවදාකවත් දැක නැති ලොකු තාත්තා, කිසි දා ක ඒ දිව්‍ය ලෝකයේ ඇති සැප සම්පත් ගැන හාංකවිසියක් දන්නේ ද, අත්විඳින්නේ ද නැති බව මට විස්වාස ය... මන්ද අප ඒ දුක් කන්දරාවන් ඒ තරමට ම සැප සේ වින්ද නිසා ය...!!


Share/Bookmark

36 comments:

  1. කොතරම් අවස්ථා ලැබුනත්, කොතරම් සැප සම්පත් ලැබුනත් මා මේ රට හැර නොයන එකම හේතුව වන්නේ අම්මා හා තාත්තා සමඟ ගත කරන මේ දිව්‍යලෝකයේ සැපත මා හට විඳගන්නට තිබෙන කාලයෙන් එක් අවුරුද්දක්වත් අඩු කර ගැනීමට අකමැති නිසාවෙනි. වෙනදා වගේම බොහෝම ස්තූතියි සර්

    ReplyDelete
  2. //තාත්තා එහාට ගිය පසු මම කකුල නවා බැලුවෙමි. රිදුන ද උදේට වඩා පහසුවෙන් නමන්නට හැකි ය. එහෙත් මම අර අමාරුව ම පෙන්වාගෙන සිටියෙමි.//
    ඒක හරි.. පොඩ්ඩක් හරි හොඳයි වගේ පෙන්නුවොත් සතේකට ගණන් ගන්නේ නැතිව යනවා... :D

    ReplyDelete
  3. මිනිසුන් ලිවීමේදී කියවීමේදී කොයි තරම් සංවේදිදැයි මොනවාට පසක් වේද යත්, නර්ස් නෝනා ප්ලාස්ටර් රෝලෙන් කෑල්ලක් අදින විට ඉන් ඇසුණු ශබ්දය ද, කතුරෙන් එය කැපූ ශබ්දය ද මට අදත් එදා මෙන් ම ශ්‍රවණය කළ හැකි ය.... මටත් ඒ ශබ්දය විදීමට පුලුවන් විය !

    ReplyDelete
  4. Hemadama kiyanawa wage ape kathawa.. asawen 'mathak kara '...

    ReplyDelete
  5. Hemadama kiyanawa wage ape kathawa.. asawen 'mathak kara '...

    ReplyDelete
  6. ඒ කාලෙ අපිට සල්ලියක් තරම් ලොකු තුවාලයක් කකුලේ නොතිබුණොත් ලොකු අඩුපාඩුවක්...

    ReplyDelete
    Replies
    1. සුමිත්ගෙ කමෙන්ට් එකක් මම අන්තිමට දැක්කේ අවුරුදු දෙහකටත් උඩදි වගේ මතක.. ආයෙ දැකීම සතුටක්...

      Delete
  7. "ප්ලාස්ටර් රෝලෙන් කෑල්ලක් අදින විට ඉන් ඇසුණු ශබ්දය ද, කතුරෙන් එය කැපූ ශබ්දය ද මට අදත් එදා මෙන් ම ශ්‍රවණය කළ හැකි ය" කෙතරම් සුන්දර අපූරු කියමනක්ද - - - - - ???? ඔබ කෙතරම් ලොකු දැහැනකට සමවැදී මේ සුන්දර අතීතාවර්ජනය කර ඇත්ද - - - - - - ???? මා කුඩා කළ කියවා ඇති මායා රංජන් ගේ දිගාමඩුල්ලේ ඓශ්චර්යය . එම් .ජී .මෙන්ඩිස්ගේ "පනංගල අයියා" අයියා වැනි අව්‍යාජ ගැමි ජීවිතය ගැන ලියැවුනු සුන්දර පොත් කියවද්දී දැනුණු රසයම දැනෙන පරිද්දෙන් ලියැවී ඇති ඔබේ මේ පෝස්ටුව වර්ණනා කිරීමට මට වචන නැත . ඉඩකඩ ඇති පුලුපුලුවන් අවස්ථාවන්හිදී ලියා අප අමන්දානන්දයට පත් කිරීමට ඔබට ඉඩ ලැබේවා - - - - - - - !!!!

    ReplyDelete
  8. පොඩිකාලෙ අවුරුදු නිවාඩුවට ගමේ ගියාම මගේ අතේ තිබ්බ තුවාලෙකට අපේ මාම බෙහෙත් දාපු හැටි මතක් උනා.

    සෙකට්‍රින් පවුඩර්, ෆ්ලේවින් වගේ නං තමයි ඒ කාලෙ බෙහෙත් වලට තිබුණෙ.

    ReplyDelete
  9. නර්ස් නෝනා තුවාලයට බෙහෙත් දමා අවසන් කල පසු ගස්ලබ්බාටත් මහත් සහනයක් ලැබින.මක්නිසාද ඒ තුවාලය ඔබේ නොව මගේ වී තිබූ නිසා ය.ලිවීම නම් එයයි..
    ජයවේවා..!!

    ReplyDelete
  10. කාලෙකින් ටිකක් දිගට ලියලා...

    ReplyDelete
  11. තනි ඇහැට අඩුනා .අම්මපා පොඩිකාලේ වාර්ෂිකව අතපය කඩා ගැනීමෙන් පසු අප්පොච්චි "සිමෙන්ති පැක්ටෙරිය ගාව වේද මහත්තය ගාවට ගෙනියපු හැටි මර ලතෝනි තියද්දි ජෝඉන්ට් එක දමපු හැටි මැවිලා පේනවා වේදනා බර උනත් සුන්දර අතීතය අපිටත් ලමාලපටි හිටින මේ කාලේ තවත් වටිනවා ....

    ReplyDelete
  12. මට දිග කමෙන්ට් කොටන්න නම් බෑ ඕන්
    කකුලෙ තුවාලෙ රිදෙනවා බන්ස්..

    ReplyDelete
  13. අදයි ඉස්සෙල්ලාම ආවේ..අගින් පටන් ගත්තට මොකද කතාවේ රහ නිසාම ඔක්කොම කියවන්න පෙරේතකමක් ඇතිවුණා..

    ReplyDelete
  14. ඉස්පිරිතාලේ බෙහෙත් දාන කාමරේ මතක් වෙලා ඇඟේ ලේ වතුර උනා ...

    ReplyDelete
  15. තුවාලයේ වේදනාව නම් අපි හැමෝටම හොඳ හැටි දැනුනා.

    ReplyDelete
  16. යාං හෑල්ල මතක් වුනා

    http://yanhella.blogspot.com/2015/11/shop-doing-and-children-watching-2.html?showComment=1447219739419#c3840581375928198685

    ReplyDelete
  17. AWYAJA LESA ATHDEKEEM PALA KARANA OBAGE LIPI ITHAMA RASAWATH. MAMA AWU.65K WAYASA VISHRAMIKA GURUWARIYAK. OBATA SUBA PATHANAWA OBA HEBE DAKSHAYEK

    ReplyDelete
  18. හැමෝට ම වෙන් වෙන් ව නොලිව්වාට සමා වෙන්න.
    අදහස් දැක්වූ සහ මා සමග වේදනාව බෙදා හදා ගත් ඔබ සැමට බොහොම ස්තූතියි.

    ReplyDelete
  19. ඉස්සර මගෙ තුවාල වලට නං දැම්මෙ නාහල්ලේ තෙල් . නැත්තං කෝපි දළු.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපේ රත්නපුරේ පැත්තේ තුවාල වලට බඳින්නෙම අමු කහයි කොපි දළුයි කොටලා තමයි.

      Delete
  20. අපේ පරණ තුවාල ඔක්කොම ඇදුන්කන්න ගත්තා මේක කියවලා... ඒ තරම්ම තාත්වික ලියවිල්ලක්... ඕජස් ගලමින් ගද ගහන තුවාලයක් ගැන මෙච්චර රසට ලියන්න පුළුවන් එක කොච්චර දක්ෂකමද කියලා හිතෙනවා..
    ජය !

    ReplyDelete
  21. තේණුවර මහත්තයා බොහෝ කුසලතා සහිත කෙනෙක්.. මේ තරම් රසවත් ලෙස ජීවිතය විස්තර කරන්න පුලවන් වීම ලොකු වාසනාවක්.
    මේ කතා කියවද්දී සමහර සිදුවීම් මගේම කියල හිතෙන වෙලාවල් තියෙනවා..
    හරිම අපූරුයි..

    ReplyDelete
  22. මම 9 වසරේදී 1988 දි ... දවසක් රඹුටන් ගහේ දිරපු අත්තක් උද ඉදං සරමෙන් ගහපු අබුඩේ තද කරන්න හදනකොටම අත්ත කඩාගෙන වැටුන.... හරියටම යටින් තිබුන දෙබලට වැටුනේ .... කොදු අට පෙළ එකට කෙටුන වගේ උනා... හුස්ම ගන්න බැරි උනා.... පස්සේ බලද්දී අර අහවල් තැන දැවිල්ලක් දැනුනා .... හැප්පොච්චියේ බැලින්නං එතන තුවාල වෙලානේ.......මම බය උනා හොදටම අහල පහල හැමෝම (ගෑනු පිරිමි) හැමෝටම තුවාලේ පෙන්නන්න උනා.. කොහොම හරි තාත්තට පණිවුඩයක් ඇරලා ගෙදරට ගෙන්වා ගත්තා.... ඊට පස්සේ කුරුවිට උඩකඩ හිටපු දෙමල දොස්තර කෙනෙක් ලඟට එක්කන් ගියා... අර මනුස්සය බලලා මේකට මැහුම් දාන්න ඕන කිව්වා... ඊට පස්සේ මැහුම් තුනක් දාලා බේත් දාලා ප්ලාස්ටරයක් දැම්ම.... පස් පාරක් විතර බෙහෙත් දාල තමයි සනීප උනේ.....

    ReplyDelete
  23. ඔබ යලිත් කෙදිනෙක අලුත් පොස්ටුවක් දමන්නේ දැයි බලාගෙන සිටිමි. ඔබේ ලිවීම් එතරමට ම රසවත්...

    ReplyDelete
  24. අලුත් බ්ලොග් එකක් හොදයි නම් comment එකක් දාගෙන යන්න

    ReplyDelete
  25. ඔක්කොම ලිපි කියවීමි. අැතිතරම් නිදහසේ මගේම අතීතයට සමවැදුනේමි.
    මෙතෙක් කලක් අතීතයෙන් පීඩා වින්දේද, මෙතැන් සිට අතීතය රසවිදිමි.
    ඔබතුමාටත්, කමෙන්ට් දාන අයත් අැතුලුව සියලු දෙනාටමත් එ් පින අත්වෙනු අැත.
    සැවොම සතුටු සිත් අැත්තෝ වෙත්වා!

    ReplyDelete
  26. උපේක්ශාගෙ බ්ලොග් එකේ මේ ගැන පෝස්ට් එක දැකලා ආවේ. හරිම රසවත්.

    ReplyDelete
    Replies
    1. උපේක්ශාගෙ බ්ලොග් එකේ ලිංකුවක් දෙන්න.
      මං ඒකට ගොඩවැදෙන්න ඕනෙමයි.

      Delete
  27. ඔබව මුහුණු පොතෙන් කියෙව්වාට බ්ලොග් අවකාශයේ මුණගැහුනෙ අද. හිතට දැනෙන අපූරු සටහන් එකතුවක්. මුල සිට ආයෙම කියවන්නට ඕනෑ. බොහොම සතුටුයි පමා වී හෝ මේ සටහන් මටත් කියවන්න ලැබීම ගැන.

    ReplyDelete
  28. උපේක්ශාගෙ බ්ලොග් එකේ මේ ගැන පෝස්ට් එක දැකලා ආවේ. හරිම රසවත්.

    same.!

    ReplyDelete
    Replies
    1. උපේක්ශාගෙ බ්ලොග් එකේ ලිංකුවක් දෙන්න.
      මං ඒකට ගොඩවැදෙන්න ඕනෙමයි.

      Delete
    2. http://upekshad.blogspot.com/2016/01/blog-post_27.html

      Delete
  29. උපේක්ෂ ලියපු පොස්ට් එක දැකල තමයි මාත් ආවේ. එක හුස්මට ඔක්කොම ලිපි කියවගෙන ගියා. හරිම ලස්සනයි

    ReplyDelete
  30. හැම දිනකම බලනවා ඊළඟ ලිපිය දාලද කියල. ඇයි මේ නිහඬ බව .

    ReplyDelete
  31. ඇයි මේක ලියවෙන්නේ නැත්තේ. හරිම රසවත් කතා ගොන්නක් කියෙව්වා !

    ReplyDelete